චයිත්‍රා, ඔබ ගැන වැඩි යමක් දැන ගන්නට ‘රසඳුන’ පාඨකයන් කැමැති වේවි.
මම ඉන්දියාවේ බැංගලෝරයේ කන්නඩ ජාතික පවුලක තරුණියක්. අම්මයි තාත්තයි සහෝදරියකුයි මමයි තමයි ඉන්නේ. මේ මගේ පළමුවැනි චිත්‍රපටය.
චන්නගේ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?
චන්න සර්, ඔහුගේ අලුත් චිත්‍රපටයට නිළියන් තෝරා ගැනීමට ඉන්දියාවට ආවා. එහිදී පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සඳහා මමත් සහභාගි වුණා. අවසානයේ දී ඔහු මාව තෝරා ගත්තා.
සිනමාවේ කුලුඳුල් රංගනය විදේශීය චිත්‍රපටයකින් ඇරඹීමට සිතුවේ ඇයි?
පුංචි කාලේ ඉඳලම මට ඕනෑ වුණේ නිළියක වීමටයි. ඉතින් ඒ අවස්ථාව මට මුලින් ම ලැබුණේ මේ චිත්‍රපටයෙන්.
මේක මගේ රටේ නිර්මාණයක් නොවුණත් එය මට ප්‍රශ්නයක් වුණේ නැහැ.
මම හිතන්නේ මේ චිත්‍රපටය හරහා සිනමාවට පා තැබීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක් ලෙසයි.
භාෂාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
ඔව්. සිංහල භාෂාව ගැන කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ.
නමුත් මේ චිත්‍රපටයට මා තෝරා ගැනීමෙන් පසු චන්න සර් ඇතුළු පිරිසගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා.
මම වැනි විදේශීය ආධුනික නිළියකට එය විශාල ශක්තියක්.
විදේශීය චිත්‍රපටයක රඟපෑම ගැන ඔබේ පවුලේ අයගෙන් විරෝධයක් එල්ල වුණේ නැද්ද?
අනේ නැහැ. ඔවුන් හරිම බුද්ධිමත්. මගේ උත්සාහයට පවුලේ උදවියගෙන් ලැබෙන සහයෝගය නම් කියලා නිම කරන්න බැහැ. මගේ රංගන හැකියාව ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා.
මේ චිත්‍රපටය සාර්ථක වේවි යැයි ඔබ සිතනවාද?
ඔව්. මට විශ්වාසයි.